‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ සාර්ථකව නිමාවට පත්වේ.

2020 පෙරවාරි 29 සහ මාර්තු 01 යන දිනයන්හි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලැබූ ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ ජයග්‍රහණයන් රැසක් නාවික හමුදාව සතු කර ගනිමින් ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී සාර්ථකව අවසන් විය.

මෙම රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් ඔරු සංචිතයේ නාවික පුද්ගලයින් ඇතුළු RCYC ක්‍රීඩා සමාජය, කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සමාජය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩා සමාජය, CMYC ක්‍රීඩා සමාජය , කොළඹ කාන්තා විද්‍යාලීය ක්‍රීඩා සමාජය ආදී දිවයිනේ දක්ෂ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 87 දෙනෙකු සහභාගී වන ලද අතර, රුවල් යාත්‍රා 70 ක් පමණ එක්විය. තවද මෙහිදී Jet ski හා Dragon යාත්‍රා යොදා ගනිමින් ප්‍රදාර්ශනාත්මක තරඟයක් ද පැවැත්වීමට කටයුතු කරන ලදි.

ගාලු මුවදොර වෙරළ තීරයේ පැවති තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා සහභාගී වූ අතර, අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු නිළධාරීතුමන්ගේ මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, අධ්‍යක්‍ෂ ක්‍රීඩා, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් විය.

මෙහිදී පැවති තරඟ ඉසව් තුලින් Laser Standard කාණ්ඩයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය , GP 14 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, laser radial කාණ්ඩයේ දෙවන ස්ථානය සහ , Enterprise කාණ්ඩයේ දෙවන සහ තෙවන ස්ථානයන් හිමි කර ගැනීමට නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් සමත් විය. තවද, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති තුමන් සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු නිළධාරීතුමන්ගේ මැතිණිය විසින් සිදු කරන ලදි.