‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක නීල ‘හරිත ව්‍යාපෘතිය’ යටතේ සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ අධීක්‍ෂණය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් 2020 පෙබරවාරි මස 29 වන දින ක්‍රියාමක කරන ලදි.

මෙහිදී, දෛනිකව සංචාරකයින් විශාල පිරිසක් පැමිනෙණ ශ්‍රි ලංකාවේ අති සුවිශේෂි රැම්සා(ර්) තෙත්බිමි පද්ධතියක් වන මාදුගඟ සහ කලපුව ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් එක් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී මාදුගඟ දෙපස සහ මාදු ගං මෝය ආශිත ප්‍රදේශය අවට එක්රැස්වී තිබූ පොලිතීන්, ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරන ලදි. මෙම සුවිශේෂි පරිසර පද්ධතිය තුල ශ්‍රී ලංකාවට ආවේනික සත්ව සහ ශාක වර්ග කිහිපයක්ම හදුනාගෙන ඇත.

තවද, මෙම වැඩසටහනට සමගාමිව තංගල්ල පරවි වැල්ල වෙරළ තීරය සහ හම්බන්තොට ළමා උද්‍යානය ආශ්‍රිත වෙරළ තීරයද පිරිසිඳු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර එහිදී අපිරිසිදුව තිබූ මෙම ප්‍රදේශයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර කළාපයන් බවට පත් කිරීමට හැකි විය.