ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා නාවික හමුදා සූදානම

ශ්‍රී ලාංකීය සහ ඉන්දීය කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු නාවික හමුදාව මේ වන විට යුහුසුළුව සිදු කරමින් පවති.

2020 ‍මාර්තු 07 වන දින පැවැත්වීමට නියමිතව ඇති මෙම දේව මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් මෙන්ම පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් ගෙන් සමන්විත 10000 කට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් සහභාගී වෙතැයි අපේක්‍ෂා කරන අතර, ඒ අනුව එම පැමිණෙන සියළුම පුද්ගලයින් සඳහා ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික ලැගුම් කුටි සකස් කිරීම, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම මෙන්ම විදුලි බල පහසුකම් සලසා දීම වැනි කටයුතු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් පරිදි උතුරු නාවික විධානය භාර ආඥාපති සහ නි‍යෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ මේ වන විට සිදු කරමින් පවතී.

තවද, කන්කසන්තුරය වරායේ සිට සහ පුංගුඩුතිව්, කුරිකට්ටුවාන් ජැටියේ සිට කච්චතිව් දූපත දක්වා කතෝලික පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදේස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ සැපයුම් අවශ්‍යතා ආරක්‍ෂිතව නෞකා හා යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීමටත්, මෙම අවස්ථාව සඳහා සහභාගීවන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් යෙදවීමටත් නාවික හමුදාව කටයුතු සූදානම් කරමින් සිටි.