පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලසිය එක්ව 2020 මාර්තු 01 වන දින කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු නීති විරෝධී මසුන් ඇල්ලීමේදී සාගර පරිසරයට සිදු වන හානිය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ කින්නියා, පොලිසිය එක්ව 2020 මාර්තු 01 වන දින කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුද්ගලයින් තිදෙනෙකු (03) ගමන්ගත් සැක සහිත යතුරුපැදියක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී එම යතුරුපැදිය සහ සැකකරුවන් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී වෝටර්ජෙල් කූරු 30 ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 45 ක් සමග සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 23 , 37 සහ 44 වයස් වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට තහවුරු කරගන්නා ලද අතර, යතුරු පැදිය, පුපුරණ ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කින්නියා පොලිසිය විසින් සිදු කරනු ලබයි.