11 වන ආරක්‍ෂක සේවා ක්‍රිඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්විය.

11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ හය (06) වන වරට පවත්වන ලද ඔරු පැදීමේ තරඟාවලිය (Rowing Championship) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අතර එම තරඟාවලිය 2020 පෙබරවාරි 28 වන දින සිට මාර්තු 02 වන දින දක්වා පුරා දින 03ක් දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය.

මෙම ජාතික ඔරු පැදීමේ තරඟාවලිය සදහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ අතර, තරඟාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් විසින් රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් නාවික හමුදාව සතු කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට හිමි කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් මෙන්ම යුධ සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් රැසක් සහභාගී වී සිටින ලදි.