රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2020 මාර්තු 03) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද අද (2020 මාර්තු 03) දිනට යෙදී තිබූ අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කරන ලදි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලද අතර, සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වෙත සමුදීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානයේ සිට නාවික රථ පෙළපාලියකින් පිටත්ව යන ලදි. එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත සිය සුභාශිංසන එක් කරන ලදි.

1985 වර්ෂයේදී 13 වන ශිෂ්‍යභට නිලධාරින් බඳවා ගැනිමේ ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මීට පෙර වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් සහ උතුරු මැද, උතුරු හා නැගෙනහිර නාවික විධානයන්ගේ ආඥාපති ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.