ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර පැවති නව වන (09) නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡාව සාර්ථකව අවසන්වෙයි.

ඉන්දියානු නාවික හමුදා සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විදේශ කටයුතු සහ බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් අතුල් ආනන්ද් (Atul Anand) ඇතුළු නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර නව වන නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡාව පැවැත්වීම සඳහා අද (2020 මාර්තු 03) නාවික හමුදා මූලස්ථානය වෙත පැ‍මිණෙන ලදි.

ඒ අනුව, ප්‍රදීපාගාර අවන්හලෙහි අද පැවති මෙම සාකච්ඡාව සඳහා රියර් අද්මිරාල් අතුල් ආනන්ද් (Atul Anand) ඇතුළු ඉන්දියානු නාවික හමුදාවේ මෙහෙයුම් දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර, ශ්‍රීලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් නන්දන ජයරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය. මෙම සාකච්ඡාව තුළින් මෙහෙයුම් සමබන්ධව දෙරටේ නාවික හමුදාවන්හි අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීම වෙනුවෙන් කරුනු රාශියක් සාකච්ඡාවට බදුන් වූ අතර,ඉන්දියානු සාගර කළාපය තුළ සිදු වන ජාවාරම් මර්ධනය කිරීම වෙනුවෙන් ද අදහස් හුවමාරු කරගන්නා ලදි. එසේම මෙම සාකච්ඡාව මගින් දෙපාර්ශවයටම වැදගත් කරුණු හුවමාරු කරගැනීමෙන් සාර්ථකව අවසන් කරන ලද අතර, අවසානයේ දෙරටේ නිලධාරීන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදි.

එසේම මෙම සාකච්ඡාවෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දියානු නාවික හමුදා සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වූ අතර, ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ඉන්දියානු නාවික හමුදා සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විදේශ කටයුතු සහ බුද්ධි ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදි.