නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 04) ඉරනතිව් දූපතට උතුරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් අද (2020 මාර්තු 04) අළුයම උතුරු මැද නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඉරනතිව් දූපතට උතුරු මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, සිදු කල සෝදිසි මෙහෙයුමේදී කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. තවද එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 254 ක්, ඩිංගි යාත්‍රා දෙකක් (02), ඔක්සිජන් ටැංකි 16 ක් සහ කිමිදුම් උපකරණ කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 50 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, ධීවර යාත්‍රා, ඔක්සිජන් ටැංකි සහ අනෙකුත් කිමිදුම් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.