නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව විසින් මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී ඉන්දියානු මුහුදු සීමාව හරහා ශ්‍රීලංකා මුහුදු තීරය වෙත පැමිණෙමින් සිටි නීති විරෝධී ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදාව විසින් නීති විරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා දිවයින වටාවූ මුහුදු තීරයන්ගේ නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව අද (2020 මාර්තු 04) නාවික හමුදාව විසින් මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර ඉන්දියානු මුහුදු සීමාව හරහා ශ්‍රීලංකා මුහුදු තීරය වෙත පැමිණෙමින් සිටි සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී අදාල යාත්‍රාවතුල තිබී කඩොලාන අතු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, යාත්‍රාවෙහි සිටි පුද්ගලයින් සතුව ධීවර බලපත්‍ර හෝ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා කිසිදු ලේඛණයක් නොමැති බවට අණාවරණය කර ගැනීමෙන් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා සහ යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුර විමර්ශණයේදී කරුණු අණාවරණය කරගෙන ඇති අතර, අදාල පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි.