රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් (02) අද (2020 මාර්තු 04) කොළඹ වරායට ‍සේන්දු විය. තෙදින (03) සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව එම නෞකාවන්හි අණදෙන නිලධාරීන් දෙදෙනා වන කපිතාන් වික්ට වැසිලියෙන්විච් කොස්ට්රුකොව් ‘Victor Vasilyevich Kostriukov’සහ කපිතාන් මිකායිල් ඇලෙක්සැන්ඩ්‍රොවිච් ‘Mikchail Aleksandrovich’ ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවූ අතර, එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය. තවද මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම නෞකාවන්, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇති අතර, මෙම නෞකාවන් සිය තෙදින (03) සංචාරය නිමා කිරීමෙන් අනතුරුව 2020 මාර්තු 06 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.