රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාවේ පැරමැටා නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි.

රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාව අද (2020 මාර්තු මස 07) කොළඹ වරායට ‍සේන්දු වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ඇනිටා මේරි නෙමරිච් (Anita Mary Nemarich) ඇතුළු නියෝජිතයින් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය. එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

මෙම නෞකාව මෙම මස 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතව ඇති අතර, එම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන්, ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.