ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාර්ථකව අවසන්වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් අද (2020 මාර්තු 07) උදෑසන නිමාවට පත් විය. නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව පවත්වනු ලබන සිව්වන දේව මෙහෙය බවට මෙය සනිටුහන් විය. ඒ අනුව මෙවරත් එම කටයුතු සඳහා යාපනය පදවියේ රදගුරු සහ දිස්ත්‍රික් ලේකම් හට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

මෙම දේව මෙහෙය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් පැවැත්වු අතර, ගාල්ල පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන්ද, ඉන්දියාවේ ජොෂෆ් ලුරුදුරාජ හිමිපාණන්ගේ සහ යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණාන්ගේ ප්‍රදානත්වයෙන් දෙමළ භාෂාවෙන්ද මෙම දේව මෙහෙයන් පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල්, ශංකර් බාලචන්ද්‍රන් ඉන්දියානු නියෝජ්‍ය කවුන්සල් ජෙනරාල් එම් ක්‍රිෂ්මම්තුරෙයි, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජයන්තද සිල්වා යාපනය ආරක්‍ෂක හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, යාපනය දිස්ත්‍රික් ලේකම් කේ මහේෂන් මහතා, ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය ආයතන නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ද ‍සහභාගී විය. තවද, මෙවර මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් 10000 කට ආසන්න පිරිසක් මෙන්ම පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් ද එක්ව සිටියහ.

මෙවර කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය අවශ්‍යතා ඉටුකර දීම වෙනුවෙන් යාපනය පදවියේ රදගුරු හිමිපාණන් සහ දිස්ත්‍රික් ලේකම්තුමා‍ හා සම්බන්ධීකරණය වි වැඩ ආරම්භ කිරීම පසුගිය පෙබරවාරි මුල් සතියේ සිට ආරම්භ කළ අතර, ඒ අනුව කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම මෙන්ම විදුලි බල පහසුකම් සලසා දීම උතුරු නාවික විධානය භාර ආඥාපතිගේ අධීක්‍ෂණය යටතේ උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලදී. එමෙන්ම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව පියවර ගෙන තිබුණු අතර, මේ දිනවල ලෝකයේ බෙහෝ රටවල පැතිරීයන කොරෝනා වෛරසය රට තුලට ඇතුළු වීම වැළැක්වීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබුණි.

මීට අමතරව, කන්කසන්තුරේ සහ කුරිකට්ටුවාන් ජැටියේ සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදේස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ ආරක්‍ෂිතව නෞකා හා යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීමට මෙවරත් නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ද නාවික හමුදා යාත්‍රා සහ නෞකාවන් වෙත අනුයුක්ත කර සිටින ලදී.