ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය - 2020

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය 2020 මාර්තු 01 වන දින සිට 07 වන දින දක්වා වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නී ආයතනයේදී පවත්වන ලදී.

නාවික හමුදාවේ සියළු විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ අතර දින 07 ක් පුරා පවත්වන ලද මෙම තරඟාවලියේදී පැවති තියුණු තරඟ වලින් අනතුරුව සමස්ථ තරඟාවලියේ පිරිමි ශූරතාවය පුහුණු නාවික විධානය විසින් හිමිකර ගත් අතර, අනුශූරතාවය නාවික දියත් විධානය විසින් දිනා ගැනීමට සමත් විය. මෙහි සමස්ථ තරඟාවලියේ කාන්තා ශූරතාවය උතුරු මැද නාවික විධානය හිමි කර ගත් අතර අනුශූරතාවය බටහිර නාවික විධානය විසින් හිමිකර ගන්නා ලදී.

තවද, අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ සමාප්ති උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2020 මාර්තු 07 වන දින ආඥාපති වයඹ නාවික විධානය, රියර් අද්මිරාල් ඩීකේපී දසනායකගේ ප්‍රදානත්වයෙන් පැවැති අතර, මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් රැසක් සහභාගිවි සිටින ලදි.