‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක්

‘නීල හරිත පාරිසරික සංග්‍රාමය’ යටතේ සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවික විධානයේ ගාල්ල, දික්වැල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු මස 07 වන දින ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක ‘නීල හරිත පාරිසරික සංග්‍රාමය’ යටතේ සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ අධීක්‍ෂණය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු මස 07 වන දින ක්‍රියාමක කරන ලද අතර, එහිදී ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය අසල සිට ගාල්ල නගරය දක්වා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය දෙපස පිරිසිඳු කිරීම, දික්වැල්ල වෙරළ තීරය සහ හම්බන්තොට, ඉඳිවින්න ආශ්‍රිත වෙරළතීරයන් පිරිසිදු කිරීම යන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස අපිරිසිදුව තිබූ ප්‍රදේශයන් අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් බවට පත් කිරීමටත් එම ප්‍රදේශයන්හි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැලි කසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමටත් කටයුතු කරන ලදී.

මෙම වැඩසටහන් මාලාව සඳහා දකුණු නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් රැසක් සහභාගී වූ අතර, ‘නීල හරිත පාරිසරික සංග්‍රාමය’ යටතේ මෙවැනි, පරිසරය ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය වලින් තොර කළාප බවට පත් කිරීමේ වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී