බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් 2020 මාර්තු 07 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

රට තුළ සිදු වන නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් විශේෂ මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, සෙම්බල්තෙට්ටි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදි බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් 20ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එහිදී ඔවුන් වැලි පැටවීම සඳහා භාවිතා කල ට්‍රේලර් සහිත ට්‍රැක්ටර් රථ හතරක් (04) සහ වැලි කියුබ් තුනකට (03) ආසන්න ප්‍රමාණයක් සහ වැලි පැටවීමට යොදා ගන්නා අනෙකුත් උපකරණ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 සහ 49ත් අතර පසුවන ත්‍රිකුණාමලය සහ කින්නියා යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලද අතර, අදාල සැකකරුවන්, ට්‍රේලර් සහිත ට්‍රැක්ටර් රථ, අනෙකුත් වැලි පැටවීමට යොදා ගත් උපකරණ සහ වැලි තොගය වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලිසිය වෙත භාර දෙන ලදි.