ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මාර්තු 08 වන දින කොටහේන නගරයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.

නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සිය සක්‍රීය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙන අතර, නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කොටහේන නගරයේ (ජම්පටා වීදියයේ) සිදු කළ වැටලීමකදී සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය පැකට් 600 ක් (කිලෝග්‍රෑම් 60) සොයා ගන්නා ලදි. මෙම රසායනික ද්‍රව්‍ය තොගය‍ අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි බවට වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලද අතර, එහිදී එම සැකකරු සමග රසායන ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගන්නා ලදි. ඒ අනුව සැකකරු පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඔහුගේ නිවසේ තිබී අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ හදුනානොගත් වල්නාශක පැකට් 270 ක් (කිලෝ 132 ග්‍රෑම් 300) සොයා ගන්නා ලදි.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55 වන වියෙහි පසුවන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ නීති විරෝධී රසායනික ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පෑලියගොඩ පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.