දේශීය ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (2020 මාර්තු 09) තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී දේශීය ගංජා කිලෝ 1 ග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා නිරත්නර මෙහෙයුම් දියත් කිරීම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රැසක් නීතියේ රැහැනට හසුකරදීමට නාවික හමුදාව සමත්වී ඇති අතර. ඒ අනුව අද (2020 මාර්තු 09) දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව තණමල්විල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී මාර්ගයේ ගමන් කල සැකකටයුතු ත්‍රීරෝද රථ දෙකක් (02) නිරීක්‍ෂණය කරන ලද අතර, එම ත්‍රීරෝද රථ වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් සතුව තිබී දේශීය ගංජා කිලෝ 1 ග්‍රෑම් 700ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව සැකකරුවන් දෙදෙනෙක් (02) , දේශීය ගංජා කිලෝ 1 ග්‍රෑම් 700ක පමණ ප්‍රමාණයක් සහ ත්‍රීරෝද රථ දෙක (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 39ක් සහ 55ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, දේශීය ගංජා තොගය සහ ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.