ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට අනුබද්ධ ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2020 මාර්තු 09 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ විය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන මෙම පුහුණු පාඨමාලාව සඳහා ඉන්දුනිසියානු සමුද්‍රීය පොලිස් සාමාජිකයින් 05 ක්, මැලේසියානු නාවික හමුදා සාමාජිකයින් 08 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් 13 ක් සහභාගී වන අතර, සති දෙකක කාල සීමාවක් මෙම පාඨමාලාව පවත් වනු ලබයි.

පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් නෞකාවන්ට හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳව සහ සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ මෙහෙයුම් ඇතුළු මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම හඳුනාගැනීම හා ප්‍රවාහනය මැඩපැවැත්වීම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි