රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

මෙම මස 07 වන දින දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව අද (2020 මාර්තු 10) දිවයිනෙන් පිටත්ව යන ලදී.

සිව් දින සුහද සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී නෞකාවේ නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය. එහිදී දෙරටේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට එම වැඩසටහන් ඉවහල් වූ අතර, රුසියානු නෞකාවේ නිලධාරීන් සහ නාවිකයින්ගේ ප්‍රශංසාවට ද ලක් විය. එසේම දිවයිනෙන් පිටත් වීමට පෙර නෞකාවේ නිලධාරීන් පිරිසක් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමු වී සුහද කථාබහක නිරතවීමෙන් පසු එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළින හුවමාරුවක් ද සිදු කරන ලදි.

ඒ අනුව, සාර්ථක සිව් දින සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වූ රුසියානු නෞකාව වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුදීම සිදු කෙරිණි.