දේශිය ගංජා වගාකළ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට.

නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මාර්තු 10 වන දින මත්තල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් රහසිගතව දේශීය ගංජා වගාකළ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

මෙරට මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙමින් සිටින අතර, ඒ සඳහා සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් වල තවත් එක් අධියරක් දකුණු නාවික විධානයේ නාවිකයින් පිරිසක් හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව මෙලෙස මත්තල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී ඉතා රහසිගත ලෙස වගා කර තිබූ මෙම දේශිය ගංජා හේන සොයා ගැනීමට සමත්විය. එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර, දේශීය ගංජා පැල 200 ක් හා සැකකරුවන් සතුව තිබී දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවියක් (කොටන තුවක්කුවක්) ද අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 29 ත් 35ත් අතර වයස්වල පසුවන අම්බලන්තොට සහ බරවකුඹුක යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලද අතර, ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා, දේශිය ගංජා පැල තොගය සහ ගිනි අවිය පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා හම්බන්තොට පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.