11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

11 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරඟාවලිය (Kayaking Championship) 2020 මාර්තු 09 සහ 10 දෙදින තුළ දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය.

ඒ අනුව, මෙම ක්‍රීඩා උළෙලේ හය (06) වන වරට පවත්වන ලද ඔරු පැදීමේ තරඟාවලිය (Kayaking Championship) ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා ත්‍රවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන රැසක් සහභාගි විය. එහිදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් විසින් රන් පදක්කම් 04 ක් රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් නාවික හමුදාව සතු කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් NA ධර්මරත්න විසින් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට හිමි කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් මෙන්ම යුධ සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් රැසක් සහභාගී වී සිටින ලදි.