සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව ‘පැරමැටා’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් සමග පැවති සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාව 2020 මාර්තු 11 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

2020 මාර්තු මස 07 දින දිවයින වෙත දින 05ක සුහද සංචාරයක් සඳහා පැමිණි රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාව 2020 මාර්තු 11 වන දින ශ්‍රීලංකා නාවික හමුදාවට අයත් සිදුරළ සහ නන්දිමිත්‍ර යන නෞකාවන් සමග කොළඹ ප්‍රදේශයට ආසන්න මුහුදේදී සාර්ථක නාවික අභ්‍යාසයක නිරත විය. ඒ අනුව මෙම අවස්ථාව දෙපාර්ශවය අතර නාවික දැනුම, අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම දෙරටේ සුහදත්වය වර්ධනය කර ගැනීමටද ඉවහල් විය.

තවද, මෙම නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී නෞකාවේ නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වූ අතර, එම වැඩසටහන් ‘පැරමැටා’ (HMAS Parramatta) නෞකාවේ නැව් මුළුවේ ප්‍රශංසාවට ද ලක් විය. ඒ අනුව, සාර්ථක දින 05ක සංචාරය නිමා කරමින් 2020 මාර්තු 11 වන දින දිවයිනෙන් පිටත් වූ නෞකාව වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුදීම සිදු කරන ලදි.