නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි ලාහුගල මගුල් මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අද (2020 මාර්තු 12) විවෘත කරන ලදි.

ඒ අනුව, ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් මහජනතාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් ලාහුගල මගුල් මහා විහාර පරිශ්‍රයේ මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදි. ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් ගරුතර සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ විවෘත කරන ලද මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් ප්‍රදේශ වාසී ජනතාව වෙත මෙන්ම විහාරය වැදපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවයද සපුරා ගැනීමට හැකියාව ඇත. මෙම අවස්ථාව සඳහා විහාරවාසී ගරුතර ස්වාමීන්වහන්සේලා, ප්‍රදේශවාසීන් සහ නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී විය.

තවද, මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියටත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.