කිලෝග්‍රෑම් 4 ට අධික කේරළ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 12) ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය සමග සිදු කල විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 04 ට අධික කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මත්ද්‍රව්‍ය දිවයිනෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයට නිරන්තරයෙන් තම දායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. ඒ අනුව දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය සමග එක්ව ගාල්ල දෙවැට ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදි. එහිදී මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී අලෙවි කිරීම සඳහා ප්‍රවාහණය කරමින් සිටි කේරළ ගංජා කිලෝ 4 ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වු අතර, සැකකරුවන් සමග එම කේරළ ගංජා තොගය නාවික භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 40 ක් වන කැලණිය හා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලද අතර, නාවික භාරයට ගත් කේරළ ගංජා තොගය සහ සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ගාල්ල පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.