නාවික හමුදාව පොලිසිය හා එක්ව සිදුකල මෙහෙයුමකින් කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 මාර්තු 13 වන දින රාගම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 01කට ආසන්න තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

මත් ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව, 2020 මාර්තු 13 වන දින බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව රාගම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්‍ෂාවට ලක් කර ඇත. එහිදී එම රථයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01කට ආසන්න තොගයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක්, ගංජා තොගය සහ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 27 සහ 29 යන වයස් වල පසුවන කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට කරුණු අණාවරණය කර ගන්නා ලද අතර, සැකකරුවන් දෙදෙනා (02) , ගංජා තොගය සහ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා රාගම පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.