පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2020 මාර්තු 13 සහ 14 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.

මෙම මංගල්‍යය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල දායකත්වයක් සැපයූ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාලි පියල් ද සිල්වා ගේ උපදෙස් මත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීරගේ සෘජු අධීක්ෂණය යටතේ එම කර්තව්‍යයන් සිදු කෙරිණි. මෙවර මංගල්‍යය සඳහා යාපනය, ඩෙල්ෆ්ට්, ගුරුනගර්, නවන්තුරෙයි, පස්සයිරූර්, පලෙයිපාඩු, ඉරනෙයිමතානගර්, පල්ලික්කුඩා, මන්ඩතිව්, මීගමුව, මන්නාරම යන ප්‍රදේශයන්හි කතෝලික බැතිමතුන් 5000 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය යාපනය දියෝකිසය භාර රදගුරු ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා, උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන්, උතුරු නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපතිතුමන් ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවික පුද්ගලයින් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ශ්‍රීලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් අනිල් බෝවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ මෙම භාර දූර කර්තව්‍යය සාර්ථකව ඉටු කිරීම සඳහා නාවික කණ්ඩායම් කීපයක් යොදවා තිබූ අතර, ඔවුන් බැතිමතුන්ගේ ප්‍රවාහන කටයුතු, සනීපාරක්ෂක පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම්, යටිතල පහසුකම් යනාදී මූලික කරුණු පිළිබඳව සොයා බලන ලදී. මීට අමතරව පැමිණ සිටි සියළු දෙනාගේ ජීවිතාරක්ෂාව උදෙසා එම දූපත ආසන්නයේ විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායම් කීපයක් ද යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.