මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට තැත්කල කේරළ ගංජා කිලෝ 485ක් නාවික හමුදා අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) උතුරු මුහුදේ ක්‍රියාත්මක කල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා කිලෝ 485 ක් අත් අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව ගත වූ දින 75 කාලය තුළදී දිවයින වටා මුහුදු තීරයේදී සහ රට අභ්‍යත්තරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් දෙකකට (02) ආසන්න තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට නාවික හමුදාව සමත්වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ අද (2020 මාර්තු 14) සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික භාරයට ගන්නා ලදි. එසේම සංකානෙයි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මරදන්කේනි මුහුදු ප්‍රදේශයේද සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් කිහිපයක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී තවත් කේරළ ගංජා තොගයක්ද අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර සෝදිසි කිරීම් වලදි වෙරළේ නවතා තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක්ද නාවික භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ඒ අනුව සිදු කරන ලදි මෙම මෙහෙයුම් ‍ දෙකෙහිදී කේරළ ගංජා කිලෝ 485 ක්, සැකකරුවන් දෙදෙනෙක් (02), ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 34 වන වියෙහි පසුවන මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදරටත් කරුණු අණාවරණය කරගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සැකකරුවන් සහ ඩිංගි යාත්‍රා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කංකසන්තුරය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

තවද, ශ්‍රී ලංක නාවික හමුදාව විසින් ගත වූ දින 75ක කාලය තුල සිදු කරන මෙහෙයුම් වලින් උතුරු නාවික විධානය මගින් කිලෝ ග්‍රෑම් 1682කට ආසන්න ප්‍රමාණයක්, වයඹ නාවික විධානය මගින් කිලෝ ග්‍රෑම් 181කට ආසන්න ප්‍රමාණයක්, දකුණු නාවික විධානය මගින් කිලෝ ග්‍රෑම් 19 කට අධික ප්‍රමාණයක්, උතුරු මැද නාවික විධානය මගින් කිලෝ ග්‍රෑම් 21කට ආසන්න ප්‍රමාණයක්,සහ සෙසු නාවික විධානයන් මගින් කිලෝ ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් වශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1913 කට (ටොන් දෙකකට) ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් 69 දෙනෙකු නීතියේ රැහැනට හසු කර දීමට සමත් වී ඇත.