දේශීය නිෂ්පාදිත ගිණි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) චාවකච්චේරිය, වෙඩ්ඩුකාඩු ප්‍රදේශයේ සිදුකල පාමුර සංචාරයකදී කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු සිය භාරයට ගන්නා ලදි.

නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබයි. ඒ අනුව අද (2020 මාර්තු 14) උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සිදු කරනු ලැබූ පාමුර සංචාරයක් අතරතුරදී චාවකච්චේරිය, වෙඩ්ඩුකාඩු ප්‍රදේශයේදි යතුරු පැදියකින් ගමන්ගත් සැක සහිත පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව සිදු කළ සෝදිසි කිරීමේදී බලපත්‍ර නොමැති දේශීයව නිශ්පාදිත කොටන තුවක්කුවක් (01), ඊයම්බෝල 08 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 10 ක් බයිසිකල් බෝල 30 ක් සහ විදුලි පන්දමක් සොයාගත් අතර, එහිදී එම පුපුරණ ද්‍රව්‍ය සහ යතුරුපැදිය සමග අදාල පුද්ගලයා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික භාරයට ගත් පුද්ගලයා පූනරීන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, ඔහු සමග නාවික භාරයට ගත් පුපුරණ ද්‍රව්‍ය සහ යතුරු පැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පූනරින්, පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.