එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගයක්

මෙම මස 10 වන දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරඟයක් 2020 මාර්තු 14 වන දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.

ඒ අනුව, පන්දු වාර 40 ක තරඟයක් ලෙස පවත්වන ලද මෙම සුහඳ ක්‍රිකට් තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත ත්‍රිවිධ හමුදා කණ්ඩායම පන්දු වාර 35 කදී සියළුදෙනා දැවි ලකුණු 127 ක් ලබා ගන්නා ලද අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී පන්දු වාර 23 කදී ලකුණු 128 ක් ලබා තරඟය ජයග්‍රහණය කරන ලදි. මෙම තරඟය සඳහා සහභාගී වන ලද දෙරටේ ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව තම ක්‍රීඩා කෞශල්‍යයන් විදහා පාමින් ක්‍රීඩාවෙහි නිරත වන ලද අතර, මෙය දෙරටේ ක්‍රීඩා කණ්ඩායම් වලට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නක් ද විය.

එසේම මෙහි ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ජගත් ප්‍රේමරත්න යන නිලධාරීන්ද සහභාගී වු අතර, තරඟය අවසානයේ දෙරටේ ක්‍රීඩකයින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදි.