තහනම් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක් නාවික භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු මස 14 වන දින නැගෙනහිර මුහුදේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීති විරොධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක්, ට්‍රෝලර් යාත්‍රා 03ක් සහ ඩිංගි යාත්‍රා 03ක් නාවික භාරයට ගැනීමට සමත්විය.

නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් දියත් කරනු ලබන අතර. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් විසින් 2020 මාර්තු මස 14 වන දින නොර්වේ දූපතට නිරිත දෙසින් වූ මුහුදේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 11ක්, ට්‍රෝලර් යාත්‍රා 03ක් සහ ඔවුන් සතුව තිබූ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, පොඩ්ඩුවකට්ටු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද තවත් සෝදිසි මෙහෙයුමකදී නිතී විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 06ක්, ඩිංගි යාත්‍රා 03ක් සහ ඔවුන් සතුව තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 29 ත් අතර පසුවන මූතූර්, කුච්චවේලී සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට වැඩිදුර අනාවරණය කරගෙන ඇති අතර, එම පුද්ගලයින්, යාත්‍රා සහ අනෙකුත් ධීවර උපකරණ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ කුච්චවේලී ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.