කාකතිව් දූපතෙන් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සංකානෙයි සුරාබදු කාර්යාලය එක්ව අද (2020 මාර්තු 15) මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝ 142 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි .

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව,උතුරු නාවික විධානයේ සහ උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සංකානෙයි සුරාබදු කාර්යාලය හා එක්ව මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කැලෑව තුළ සඟවා තිබූ සැක සහිත පොහොර කවර 08 ක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී පාර්සල් 65 ක් වශයෙන් අසුරා තිබූ කිලෝ 142 කට අධික කේරළ ගංජා තොගයක් සොයා ගන්නා ලදි. මෙම කේරළ ගංජා තොගය මුහුදු මාර්ග ඔස්සේ රට තුළට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවත්, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙලෙස මෙම දූපතේ සඟවා තබන්නට ඇති බවටත් සැක පල කරනු ලබයි.

තවද, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය පිළීබඳ ඉදිරි විමර්ශන කටයුතු සංකානෙයි සුරාබදු කාර්යාලය විසින් සිදු කරන අතර, මෙම වර්ෂය තුළ මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් දෙකකට (02) අධික ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට සමත් වී ඇත.