ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 28 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 28 වන සංවත්සරය පසුගිය මාර්තු 09 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව ගාල්ල, ‘සම්බෝධි’ ළමා නිවාසය පිරිසිදු කර පසුව එහි නේවාසිකව සිටින දරු දැරියන් හට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන ලද අතර, 2020 මාර්තු මස 09 වන දින උදෑසන නාවික සාම්ප්‍රදානුකූලව ආයතනයේ අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සුම පවත්වන ලදි. එහිදී නැව් මුළුව ඇමතූ අණදෙන නිලධාරී තුමන් නාවික ජිවිතය හරවත්ව පවත්වාගෙන යාමට නාවික පුද්ගලයින් හට උපදෙස් ලබා දීම සිදුකරන ලදි. අනතුරුව නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල ගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහය පොදු භෝජනාගාරයේදි පැවැත්වීමටද කටයුතු කරන ලදි.

තවද ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 28 වන සංවත්සරයට සමගාමිව ආයතනය තුල සංගීත ප්‍රසංගයක් පවත්වන ලද අතර, ඒ සඳහාද ආයතනයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් සහභාගී වන ලදි..