පස්වන (5) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය සාර්ථකව පවත්වයි

පස්වන (5) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාව නිමාව සනිටුහන් කරමින් 2020 මාර්තු 15 වන දින එහි සහතික ප්‍රදානෝත්සවය අති උත්කර්ශවත් අන්දමින් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි සහභාගී විය. උත්සව අවස්ථාව සඳහා පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු ආරාධිතයින් පිළීගැනීම නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ප්‍රසන්න මහවිතාන විසින් සිදු කරන ලදි.

මෙම පාඨමාලාව සැපයුම් අංශයේ නිලධාරීන් සඳහා වන සුවිශේෂ පාඨමාලාවක් වන අතර, 2019 මැයි මස 06 වන දින සිට 2020 මාර්තු 15 වන දින දක්වා සති 42 ක කාලසීමාවක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පවත්වන ලද පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකු සහ බංගලාදේශ නාවික හමුදා නිලධාරියෙකු ද ඇතුලත්ව සිටින ලදි. එසේම පාඨමාලාවේ අධ්‍යන කටයුතු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරුන්, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ නාවික හමුදා සැපයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

2020 වර්ෂයේ පස්වන (5) දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ දක්‍ෂතම සහ ජනප්‍රියම නිලධාරීයා ලෙස ලුතිනන් කොමාණ්ඩර් (සැ) එල්ඩී සේරසිංහ, අධ්‍යන විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරිණිය ලෙස ලුතිනන් කොමාණ්ඩර් (සැ) පීඑල්එන් ද සිල්වා, නාවික විෂයන්ගේ වැඩිම ලකුණු ලබා ගත් නිලධාරියා ලෙස ලුතිනන් කොමාණ්ඩර් (සැ) එස් කබීර් (බංගලාදේශ නාවික හමුදාව) යන නිලධාරීන් හට රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි විසින් ත්‍යාග සහ කුසලාන පිරිනමන ලදී.

තවද මෙම අවස්ථාව සඳහා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් සහ ආරාධිතයින් රැසක් සහභාගී විය. නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන් වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් කෝසල විජේසූරිය විසින් ස්තුති කථාව කිරීමෙන් අනතුරුව උත්සව ප්‍රධානෝත්සවයේ වැඩ කටයුතු අවසන් කරන ලදී.