නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින මීගමුව, ලෙල්ලම මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද කස මෝරුන් (වරල් රහිත) ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ජීවත් වන වඳ විමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ගණයේ මත්ස්‍ය ‍විශේෂයන් වන මෙම කස මෝරුන් ආරක්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 මාර්තු 16 වන දින මීගමුව මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද වරල් රහිත කස ‍මෝරු ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 46ක් වන මීගමුව ප්‍රදේශයේම පදිංචි කරුවකු බවට හදුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ සොයා ගන්නා ලද කස මෝරු මත්ස්‍ය ප්‍රමාණය ඉදිරි නීතීමය කටයුතු සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා මීගමුව , ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

"ඇලෝපිඩේ" කුලයට අයත් මෙම කස මෝරා ධීවර හා ජලජ සම්පත් පනත යටතේ, ධීවරයින්ට හෝ විනෝදයට හා ක්‍රීඩාවක්‌ ලෙස මසුන් අල්ලන කිසිම අයෙකුට ඇල්ලීම තහනම් කර ඇත. තවද, යම්කිසි බෝට්‌ටු හිමියකු හෝ නියමුවකු මියගිය කස මෝරකුගේ සිරුරක්‌ හෝ සිරුරක යම් කොටසක්‌ හෝ බෝට්‌ටුව තුළ තබා ගැනීම මෙන්ම වෙනත් බෝට්‌ටුවකට මාරු කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීමට ද අවසර ලබා දී නොමැත.