ත්‍රිකූණාමලය බස්නැවතුමෙහි විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 17 වන දින ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොලෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, වෛරසය ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් සිදු කරන ලද මෙම වැඩසටහනෙහිදී ත්‍රකුණාමලය බස්නැවතුම්පොලෙහි සියළුම ස්ථානත් බස් රථ ඇතුලතත් විසබීජ හරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් රැසක් සහභාගී වී සිටින ලද අතර, මෙම වෛරසය පාලනය කිරීම වෙනුවෙන් සිදු කල යුතු සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.