තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 මාර්තු 17 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

නීති විරෝධී ධීවර දැල් භාවිතයෙන් සිදුවන සාගර පරිසර හානිය වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සොදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක්, පන්වැව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා හම්බන්තොට ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව 2020 මාර්තු 17 වන දින ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුමක් අතර තුර හම්බන්තොට, සිප්පිකුලම සහ බැරැක්ක වීදිය යන ප්‍රදේශවල විකිණීම සඳහා ගබඩා කර තිබූ තහනම් නයිලෝන් දැල් කිලෝ 190 කට අධික ප්‍රමාණයක් සොයාගන්නා ලදි. එහිදී සැකකරුවන් දෙ‍දෙනෙකු (02) ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 43 වන වියෙහි පසුවන හම්බන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ දැල් පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු හම්බන්තොට, ධීවර දෙපාර්ථමේන්තු කාර්යාලය විසින් සිදු කරනු ලබයි.