නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථානයක් නාවික හමුදාව වටලයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 16 වන දින, පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සොයා ගැනීමට සමත් විය.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කළ පාමුර සංචාරයක් අතරතුරදී කැලෑබද ප්‍රදේශයක් තුළ සැක සහිත දුම් වහනයක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී ඒ පිළිබඳව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සොයා ගැනීමට සමත් විය. එසේම, එම ස්ථානයේ තිබී දේශීය මත්පැන් සහිත ලීටර් 20 ප්ලාස්ටික් කෑන් එකක් (01) හා එම ප්‍රමාණයේම හිස් ප්ලාස්ටික් කෑන් 03 ක්, ප්ලාස්ටික් බැරල් එකක් (01) සහ තවත් උපකරණ කිහිපයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදා විමර්ශන හේතුවෙන් සැකකරුවන් මෙම උපකරණ එම ප්‍රදේශයේ අතහැර යන්නට ඇතැයි සැක පල කරන අතර, නාවික භාරයට ගන්නා ලද උපකරණ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සදහා පුල්මුඩය, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.