නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසර හොකී පිටියේදී නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය 2020 මාර්තු මස 15 වන දින සිට 17 වන දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් හොකී කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික පිරිසක් සහභාගිවී සිටින ලදි.

ඒ අනුව, තරඟාවලියේ සමස්ථ කාන්තා සහ පිරිමි ශූරතාවයන් පුහුණු විධානය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගත් අතර, කාන්තා සහ පිරිමි අනු ශූරතාවයන් දකුණු විධානය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගැනීමට සමත් විය. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය පුහුණු විධානය නියෝජනය කළ මධ්‍ය නිලධාරී නිලාන් විජේතුංග හිමිකරගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය පුහුණු විධානය නියෝජනය කළ බල කාන්තා ශාරිරික අභ්‍යාසක ජේඅයිඑල් රංජිත් කාන්නා නාවිකයා විසින් හිමිකර ගන්නා ලදී.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගිවි සිටින ලදි.