‘නව කොරෝනා’ වෛරසය මැඩලීමට ජේඑස්ඩබ් ඇපරල්ස් (JSW Apparels ) සමාගම වෙතින් නාවික හමුදාව වෙත රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

මේ දින වල පැතිරී යන ‘කොවිඩ් - 19’ වසංගත තත්වය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මග පෙන්වීම යටතේ නාවික හමුදා ශ්‍රමයෙන්, විශේෂඥ දැනුමෙන් හා සම්පත් උපයෝගී කරගනිමින් තම සෘජු දායත්වය සපයමින් සිටී. මේ සඳහා දැනටමත් ගාල්ල බූස්ස නාවික කඳවුර තුළ නිරෝධායන මධ්‍යස්තානයක් ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති අතර, මහජනතාව ගැවසෙන ස්ථානයන්හි විෂබීජ හරණ කටයුතු සඳහා නාවික හමුදාව තම නිරන්තර දායකත්වය ලබා දෙමින් සිටී. නාවික හමුදාව සිදු කරනු ලබන මෙම ජාතික කර්තව්‍ය සඳහා ශක්තියක් ලබාදෙනුවස් ජේඑස්ඩබ් ඇපරල්ස් (JSW Apparels) පුද්ගලික සමාගම විසින් අද දින (2020 මාර්තු 19) නාවික හමුදාව වෙත රුපියල් මිලියනයක ( රු 1,000,000.00) මූල්‍ය දායකත්වයක් ලබා දීමට කටයුතු කරන ලදි.‍

ඒ අනුව, නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් වූ ජේඑස්ඩබ් ඇපරල්ස් (JSW Apparels) පුද්ගලික සමාගම මෙම කටයුතු තවදුරටත් පුළුල් ලෙස සිදු කරගෙන යාම වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානයේදී තම මූල්‍ය දායකත්වය මෙලෙස ලබා දෙන ලද අතර, මෙම අවස්ථාව සඳහා එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටින ලදි. එහිදී නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙම වැඩසටහන් එම නියෝජිතයින් විසින් ඇගයීමට ලක් කරන ලද අතර, එහිදී නාවික හමුදාධිපති විසින් ජේඑස්ඩබ් ඇපරල්ස් (JSW Apparels) පුද්ගලික සමාගම මගින් ලබා දෙන ලද මෙම සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය පිරිනමන ලදි.

තවද, මෙම වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය සඳහා වූ ජාතික කර්තව්‍යයට ශ්‍රී ලංකා නාවික හමුදාව තම උපරිම දායකත්වය ලබා දෙමින් සිටින අතර, ඉදිරියේදී ජාතික අවශ්‍යතාවය පරිදි තම සම්පත්, අත්දැකීම් හා විශේෂඥ දැනුම ‍ඒ සඳහා යෙදවීමටද සූදානමින් සිටී.