මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක්, කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැක සහිත යතුරු පැදියක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි ගමන්ගත් පුද්ගලයා සතුව තිබී හදුනා නොගත් පුපුරණ දුව්‍ය කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමාණයක්, වොටර් ජෙල් කූරු දෙකක් (02), සේවා නූල්, විද්‍යුත් නොවන ඩෙටනේටර් දෙකක් (02), සකස් කරන ලද චාජර් එකක් (01) සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම පුද්ගලයා සහ පුපුරණ ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 42ක් වන මූතූර්, වල්ලිකේනි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු,යතුරුපැදිය සහ පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්දයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සදහා සේරුනුවර පොලිසිය වෙත භාරදෙන ලදී.