කපිතාන් රාජප්‍රිය සේරසිංහ ශ්‍රී ලංනානෞ ‘සිඳුරළ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් රාජප්‍රිය සේරසිංහ අද (2020 මාර්තු 20) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් චින්තක කුමාරසිංහ විසින් නව අණදෙන නිලධාරී වෙත නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් කොළඹ, වරාය පරිශ්‍රයේදී භාර දීමට කටයුතු කරන ලදි. එසේම හිටපු අණදෙන නිලධාරි වෙත සම්මාණමුර ආචාරයක් මගින් සමුදීම සිදු කළ අතර, අභිනව අණදෙණ නිලධාරි විසින් අංශ පිරික්සුමක් පවත්වා නැව් මුලුව ඇමතීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිමාවට පත් විය.

මෙම උත්සව අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බන්දුල සේනාරත්න ද සහභාගී වූ අතර, එහිදී නියෝජ්‍ය ආඥාපති විසින් කපිතාන් චින්තක කුමාරසිංහ වෙත සමරු තිළිණයක්ද ලබා දෙන ලදි.