නාවික හමුදාව විසින් කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තය විෂබීජහරණය කරයි

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 20 වන දින කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තය (Jaya Container Terminal) කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ක්‍රියාමාර්ගයන් රැසක් ගෙන ඇත. ඒ අනුව, රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙන කොළඹ වරායේ බොහෝ ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ කටයුතු කරමින් සිටින නාවික හමුදාව 2020 මාර්තු 20 වන දින කොළඹ වරායේ ජයා බහාලුම් පර්යන්තය (Jaya Container Terminal) සහ පරිපාලන ගොඩනැගිල්ල ඇතුළු එහි සියළුම කාර්යාල පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් තවත් එක් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී එම පරිශ්‍රයන්හි රාජකාරි නියුතු පුද්ගලයින් හට ආරක්‍ෂිතව රාජකාරි කිරීමට හැකි වන පරිදි සියළුම ස්ථානයන් ආවරණය වන ලෙස සම්මත ක්‍රියා පිළිවෙලට අනුව ක්‍රමවත්ව විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ලකල හැකි මෙවැනි ස්ථානයන් වෛරසය ව්‍යාප්තවීම මගින් අකර්මන්‍ය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැළැක්වීම සඳහා විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටි.