ශ්‍රී ලංකා නාවික හමුදාව සංවි‍ධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ගාල්ලේදී

නාවික හමුදාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ කරාපිටිය ලේ බැංකුව සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත්, ඒ අනුව පවතින රුධිර හිඟතාවය සම්බන්ධයෙන් එම ලේ බැංකුවේ අධ්‍යක්‍ෂක තුමන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මඟ පෙන්වීම යටතේ අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. මෙහිදී ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට එක් වී සිටින ලදි

තවද, මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා කරාපිටිය ලේ බැංකුවේ කාර්ය මණ්ඩලය සහ නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දුන් අතර, ඉදිරියේදීද රටේ පවතින ජාතික අවශ්‍යතාවයන් වටහා ගනිමින් තම දායකත්වය උපරිමයෙන් ලබා දීම සඳහා නාවික හමුදාව සූදානමින් සිටී.