තලෙයිමන්නාරමට උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 21) තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කිලෝ 147 කට ආසන්න තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික භාරයට ගන්නා ලදි .

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මුර සංචාරයක් අතරතුරදී මුහුදේ පාවෙමින් තිබූ සැක සහිත බෑගයන් දෙකක් (02) නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව ඉතා පරීක්‍ෂාකාරී ලෙස එම සැක සහිත බෑගයන් පිළිබඳ සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඒවා තුළ තිබී කේරළ ගංජා තොගයක් සොයා ගන්නා ලදි. මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය තෙත බර සහිතව කිලෝ 147 කට ආසන්න වන බවත් එහි වියලි බර කිලෝ 120 කට ආසන්න වෙතැයි ද ගණන් බලා ඇත. එසේම ‍මෙම කේරළ ගංජා තොගයේ වීදියේ වටිනාකම රුපියල් ලක්‍ෂ 240 කට ආසන්න වන අතර, නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු ප්‍රදේශයන් තුළ සිදු කරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි සැක පල කරයි.

තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගය පිළීබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුලංකාවිල් පොලිසිය වෙත භාර දීමට නියිමිත අතර, මෙම වර්ෂය තුළ මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් දෙකකට (02) අධික ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට සමත් වී ඇත.