වෙළඳ නෞකා වල සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් මගින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුල්වීම වැලැක්වීම සඳහා නාවික හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්

මෙම සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් වෙළඳ නෞකාවලට ගොඩවීම සහ නෞකා වලින් ගොඩ බැසීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ‍නාවික හමුදාව, එම නෞකා වල දේශීය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව නිර්මාණය කරන ලද ක්‍රියාදාමයක් අනුව නාවික හමුදාවේ පූර්ණ අධික්‍ෂණය යටතේ සිදු වේ. මෙම ක්‍රියාදාමය දැනට රටතුළ පවතින සෞඛ්‍ය තත්වය මත මනා විමර්ශණයකට ලක්ව සිදු වන අතර, එලෙස ගොඩබසින විදේශීය සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් සහ ඔවුන් සමග සෘජුව ගනුදෙනු කරන දේශිය නියෝජිතයන් නාවික හමුදාව මගින් ගාල්ල බූස්ස නාවික කඳවුරේ ඉදි කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා පූර්ණ නිරෝධායනයකට ලක්කොට නැවත ඔවුන්ගේ රාජකාරී සඳහා පිටත්ව යාමට ඉඩකඩ සළසා ඇත. එමෙන්ම දින කිහිපයක් වැනි කෙටි කළක් සඳහා පැමිණෙන සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා තෝරාගත් නවාතැන් පොලවල් තුනක (03) දැඩි නාවික හමුදා ආරක්‍ෂාව මධ්‍යයේ මොවුන් ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට ද කටයුතු කර ඇත.

මෙම සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් විසින් ගෙන එනු ලබන අවි ආයුධ ඇතුළු සියළු පෞද්ගලික බඩු බාහිරාදිය විෂබීජ නාශක ක්‍රියාවලියකට වරාය පරිශ්‍රය තුළදීම වරාය සෞඛ්‍ය සහ නාවික හමුදාවේ නිරෝධායන ඒකකයේ ක්‍රියාවලියකට භාජනය වේ. එසේම ආනයන අපනයන මත පදනම් වූ ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවේ මෙවන් ව්‍යසනකාරී තත්වයක් යටතේ වුවද එම ආනයන අපනයන ක්‍රියාවලීන් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කාරණයක් වන බැවින් එම ක්‍රියාවලීන් ඉතාමත් විධිමත්ව සහ ආරක්‍ෂාකාරීව සිදු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතා වගකීමෙන් ක්‍රියා කරයි.

තවද, මෙහිදී සියළු සෞඛ්‍යාරක්‍ෂණ විධිවිධාන නිසි ලෙස ක්‍රියාත්මක කරමින් නාවික හමුදාව විසින් මෙම ක්‍රියාදාමය පවත්වාගෙන යනු ලබන අතර, මේ සම්බන්ධව ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකමක් ද 2020 මාර්තු 21 වන දින ගාල්ල වරාය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු කරන ලදි.