නාවික හමුදාව රාගම රෝහල කොරෝනා වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.

රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 22) කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී ද ලබා දීමේ අරමුණින්, අද (2020 මාර්තු 22) එම රෝහලෙහි දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහලෙහි දැඩිසත්කාර ඒකකය අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමට කටයුතු කරමින් පවතී.

තවද, මෙම අළුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර රෝහලේ අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදා සාමාජිකයින් ඉතා කඩිනමින් අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා නාවික හමුදාව මේ වන විට තම උපරිම සහයෝගය ලබා දෙමින් සිටී.