ගාල්ල වරාය තුළ යාත්‍රාවන් විෂබීජ හරණයට නාවික හමුදා දායකත්වය.

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (2020 මාර්තු 22) දින සිදු කරන ලදි.

මෙම මාරාන්තික වෛරසය රටතුළ ව්‍යාප්තවීම පාලනය සඳහා රජය විසින් සිදු කරනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව දකුණු නාවික විධානය මගින් සිදු කරනු ලබන විෂබීජ හරණය කිරීමේ වැඩසටහනෙහි තවත් එක් පියවරක් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන් ඉලක්ක කර ගනිමින් අද (2020 මාර්තු 22) විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලදි. මෙම ක්‍රියාන්විතය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් හා දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මගපෙන්වීම මත සිදු කරන ලද අතර, මෙමගින් නෞකා හා යාත්‍රා මගින් වෛරසය රට තුළට ඇතුළුවීමට ඇති ඉඩ කඩ නවතාලීම අපේක්‍ෂා කරයි .

මෙම වෛරසය හේතුවෙන් ලොවම අවධානම් තත්වයකට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම හා පාලනය මෙන්ම මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් හා කැපවීමෙන් කටයුතු කරනු ලබයි.