කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ත්‍රිකුණාමලය, සීනන්වේලි වෙරළ තීරයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් සහ කැස්බෑ බිත්තර තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වටා වූ මුහුදු කලාපයේ සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබයි. ඒ අනුව අද (2020 මාර්තු 23) නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, සීනන්වේලි වෙරළ තීරයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කැස්බෑ මස් කිලෝ 11 පමණ ප්‍රමාණයක් සහ කැස්බෑ බිත්තර 150ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල ඩිංගි යාත්‍රාවේ සිටි පුද්ගලයින් තිදෙනා (03), කැස්බෑ මස් හා බිත්තර තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 36, 44 සහ 50 වන වියෙහි පසුවන ත්‍රිකුණාමලය, ඉලංගතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, කැස්බෑ මස් හා බිත්තර තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය වනජීවි සංරක්‍ෂණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.