ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය විෂබීජ හරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

පෞද්ගලික මාධ්‍ය ආයතන සහ සෙසු රාජ්‍ය ආයතන අතර මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පැය 24 පුරාම වගකීම් සහිත තොරතුරු ජනතාව වෙත සැපයීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනු ලබයි. ඒ අනුව නිරන්තරයෙන් මාද්‍යවේදීන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙනු ලබන බැවින් එම පැමිණෙන්නන්ගේ ආරක්‍ෂාව උදෙසා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය විෂබීජ හරණය කර දෙන මෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඒ අනුව අද (2020 මාර්තු 23) බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි.

එහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සියළුම ස්ථානයන් ආවරණය වන පරිදි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලද අතර, ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.