උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද නාවික විධානය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් එම නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 මාර්තු 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ දිවයින පුරා පිහිටි ලේ බැංකු සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අවස්ථාවක එම රුධිර හිඟතාවය මගහරවා ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානායකගේ මඟ පෙන්වීම යටතේ 2020 මාර්තු 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ පිහිටි නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. මෙහිදී ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි.

තවද, මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා අනුරාධපුරය ශික්‍ෂණ රෝහලෙහි ලේ බැංකු කාර්ය මණ්ඩළය සහ නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දුන් අතර, රටේ පවතින ජාතික අවශ්‍යතාවයන් වටහා ගනිමින් ඉදිරියේදීද තම දායකත්වය උපරිමයෙන් ලබා දීම සඳහා නාවික හමුදාව සූදානමින් සිටී.